17/12/2021
ගොඩ දෙනෙකුට තියෙන ප්‍රස්නයක් තමයි ගෙවල් හදනකොට යොදාගතයුතු සුදුසුම කම්බි වර්ග තෝරාගන්නෙ කොහොමද කියන කාරනය. කලින් සිමෙන්ති ගැන සම්පූර්ණ විස්තරයක් මම කියලා දුන්නා මතක ඇති. ඒසේම යකඩ ගැනත් නිවැරදි විස්තරයක් පලකරන ලෙස කීපදෙනෙක් මගෙන් ඉල්ලා තිබුනා. එනිසා යකඩ ගැන පැහැදිලි විස්තරයක් හැමෝගෙම යහපත උදෙසා පල කරමි.
විශේසයෙන්ම නිවාස ඉදිකිරීමේදී යකඩ බාවිතා කරන්නෙ කොන්ක්‍රීට් මහල් නිවාස තැනීමටයි. බේස් පතුල් දමා කොන්ක්‍රීට් කනු දැමීමට, ප්ලින්ත් බීම් දැමීමට , ටයි බීම් දැමීමට, ස්ලැබ් දැමීමට ප්‍රදාන වශයෙන් යකඩ බාවිතා කරයි. එනිසා යකඩවලින් වැරගැන්වූ කොන්ක්‍රීට් වලට RCC කොන්ක්‍රීට් කියා කියනු ලබයි. ( Reinforced Cement Concrete )
පොලොව අභ්‍යන්තරයෙ පස් හා මිශ්‍රිතව පවතින යකඩ කනිජය යපස් ලෙස හදුන්වයි. මෙම යපස් උනුකර යකඩ පෙරා ඉවත්කරගෙන සෘජුකොණාශ්‍ර අච්චුවලට දමා සිසිල් කිරීමේදී යකඩ දඩු වශයෙන් ඝනීබවනය වේ. මේ යකඩ දඩු බිලට් යනුවෙන් හදුන්වයි. මේවා පිරිසිදු යකඩ වෙයි. මෙම යකඩ උනුකර එයට වෙනත් මූලද්‍රවය එකතු කර විවිද යකඩ වර්ග නිපදවයි. කාබන්, ටයිටේනියම් වැනි මූලද්‍රවය තමයි වැඩිපුරම යකඩවලට එකතු කරන්නෙ. තව බොහෝ දේ මිශ්‍ර කර විවිද යකඩ තැනිය හැක. වානේ සහ සුදු යකඩ ඔබ හොඳින් දන්නා තවත් යකඩ වර්ග දෙකකි. අවස්‍යතාවයට අනුව විවිධ යකඩ නිස්පාදනය කරගැනීමට හැකියි.යපස් බහුලවශයෙන් චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල පවතී.
නිවාස ඉදිකිරීමේදී බාවිතා කරනු ලබන්නෙ කාබන් අඩු ප්‍රතිශතයක් එකතු කර නිපදවන mild steel ( MS යකඩ) නම් යකඩ වර්ගයයි .කාබන් ප්‍රතිශතය වැඩිවන විට යකඩ වල තදගතිය වැඩිවේ. එවිට යකඩ කම්බිවල ඇදෙන ගතිය අඩුවී කැඩෙන ගතිය වැඩිවේ. ඔනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී කොන්ක්‍රීට් වලට බර දරාගන්න බැරිවනවිට යොදා ඇති කම්බි යම් ඇදීමට ලක්වීහෝ නොකැඩී තිබීම ඉතා වැදගත් කාරනයක්.එසේ වීමෙන් සිදුවන හානි අවමවේ. එසේම කම්බි නොකැඩී vibration වලට ඔරොත්තු දෙන හෙයින් mild steel ගොඩනැඟිලි ඉදිකිරීමට යොදා ගනී. යකඩ බරින් 0.05 - 0.25 අතර සුළු ප්‍රමානයක් mild steel තුල කාබන් අඩංගුවේ.එනිසා low carbon steel ලෙස හදුන්වයි. මෙම යකඩ වලින් මහල් නිවාස ඉදිකිරීමේදී බාවිතා කරන විශ්කම්බය 6 mm, 8 mm, 10 mm, 12 mm, 16 mm යනාදී විස්කම්බ වලින් සමන්විත කම්බි කුරු නිස්පාදනය කර ඇත.
තවත් සමහරු ඉහතකී බිලට් වලට පරන අබලි යකඩ 0 - 30 % දක්වා විවිද ප්‍රමානයන්ගෙන් එකතු කර උනුකර ගොඩනැඟිලි ඉදිකරන කම්බි කූරු නිපදවා ඇත. මේ යකඩ වර්ග සියල්ලම විවිද නම්වලින් වෙළදපොලේ විකිනීමට ඇත.ලාබ ඉපයීම වියාපාරිකයින්ගේ නියාය නිසා කවුරුත් වගේ අබලි යකඩ යම් යම් ප්‍රතිශත වලින් එකතුකිරීම සිදුකරනු ලබයි. එහි වරදක්ද නැත.යකඩ කම්බිකූරු වල ප්‍රමිතිය ලංකාවෙ නම් SLS 375 :2009 ට අනුවත් අනිකුත් රටවල BS 4449:2005 ට අනුවත් නිපදවේ. දෙකේම ඇත්තේ එකම ප්‍රමිතියයි.
බර වැටීමේදී යකඩ කම්බි කූරු නොකැඩී දරාගත හැකි උපරිම ශක්තියකින් යුත් කම්බි තමා හොඳම කම්බි. බර වැටීමේදී කම්බිකූරු ඇදීම මුලින්ම සිදුවේ. පසුව කැඩී යයි. කැඩීයාමට පෙර උපරිම වශයෙන් ඇදෙන සීමාකාරී අවස්තාවේ කම්බියට දරාගත හැකි උපරිම බලයට maximum tensile strength එක කියලා කියනවා.මේ බලය මනින්නෙ N/mm2 යන ඒකකයෙනි. මේ අගය 540 N/mm2 වඩා වැඩි කම්බි ඉදිකිරීම් වලට සුදුසුයි. යකඩ කම්බි කූර කැඩෙන්න පෙර කම්බියේ තිබුනු දිගට වඩා වැඩිපුර ඇදුනු ප්‍රමානය කම්බියේ මුල් දිගට සාපේක්සව ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එයට කියන්නෙ Elongation කියලා. යකඩ කම්බි කූරු කැඩෙන්න පෙර වැඩිම ප්‍රතිශතයකින් ඇදෙන කම්බි තමයි ඉතාම හොඳ. මේ ඇදෙන ප්‍රතිශතය 14% -18% අතර තියෙනවානම් ඉතා හොඳයි. ඒ වගේම වැඩිම tensile strength එක තියෙන කම්බි කූරු තමයි හොඳම කම්බි. ඔය කරුනු දෙකම සපුරාලන යකඩ කම්බි තමයි ගොඩනැගිලි හැදීමට යොදා ගන්නෙ. එසේ නැතුව Tensile strength එක වැඩිවූ පමනින් එම කම්බි සුදුසුයි කියන්නෙ යකඩ ගැන නොදන්නා අයයි. ඔන්න ඔහොමයි යකඩ කම්බිවල හොද නරක තෝරන්නෙ..
කම්බි කූරකට නොකැඩෙන සේ ඒ මත බලයක් යෙදුවම කම්බිය ඇදෙනවා.එම බලය ඉවත්කලාම නැවත කම්බිය පෙර තිබූ තත්වයටම පත්වෙනවා නම් කම්බියේ ව්‍යූහාත්මක වෙනසක් වෙලා නැහැ. රබර් පටියක් ඇදලා අත ඇරියම නැවත තිබුනු ත්ත්වයට පත්වෙනවා වගේ සිද්දියක්. එසේ කම්බිය නොකැඩී, වියූහයේ වෙනසක් නොවී උපරිම වසයෙන් කම්බිය ඇදෙන්න ලබා දියයුතු ශක්තියට කියන්නෙ yield strength කියලා. මේක මනින්නෙත් N/mm2 යන මිනුම් ඒකකයෙන්. මේකම Mpa කියන මිනුම් ඒකකයෙනුත් මනිනවා. දෙකම එකයි. එතකොට Max. tensile strength එක වැඩි අගයකුත් Max. yield strength එක අඩු අගයකුත් ගන්නා බැව් පැහැදිලි වෙන්න ඇති.
කම්බිකූරු වලට දරාගතහැකි ශක්තිය කම්බියේ සඳහන් කරයි. එය yield strength එකට අදාල බලයයි. සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ රටවල එක් එක් අවස්‍යතා මත විවිධ යකඩ නිපදවයි. ගොඩනැගිලි ඉදිකිරීමට ගන්නා Mild steel වර්ග රාශියක් ඇත. ඒවා Fe 415, 415D, 450,500, 500 D, 550, 550D, 600 ආදී වශයෙන් වේ. එනම් yield stress එක (415 - 600) N/mm2 අතර පවතින යකඩ කම්බි රාශියක් නිපදවනු ලබයි.
වෙළඳපොලේ යකඩ කූරු වර්ග කීපයක් පවතී. ඒවා TMT, QST, CTD, CRS, TMX, HYSD ආදී වශයෙන් හදුන්වයි.. අපේ රටේ දැන් බාවිතා වන්නේ TMT- 500 සහ QST-500 යන වර්ග දෙකයි. CTD (tor steel) ඉස්සර බාවිතා කලා, දැන් බාවිතයේ නැහැ.
එතකොට TMT - 500 කියන්නෙ yield strength එක 500 N/mm2 කියන එකයි. TMT - කියන්නෙ යකඩ නිෂ්පාදන ක්‍රියාවලියක්. Thermo Mechanical Treatment කියන නිෂ්පාදන ක්‍රියාවලියයි.
QST -500 කියන්නෙ yield strength එක 500 N/mm2 කියන එකයි. QST කියන්නෙ Quench & Self Tempered කියන එකයි. ඒක නිෂ්පාදන ක්‍රියාවලියයි.
Fe 500 TMT rebar කියා හෝ Fe 500 QST rebar කියා කම්බිකූරුවල සදහන් කර තිබෙනවා ඔබ දැක ඇත. ඊට අමතරව නිෂ්පාදකයාගේ Brand Name එක සදහන් කර ඇත. (Lanwa, Melwa, Melbn, GTB, SR, CN, Gjaba, BSI ආදී වශයෙන්. ) දැන් යකඩවල ලියා ඇති වැකි ගැන ඔබට වැටහෙනු ඇතැයි මම විස්වාස කරමි. තව බොහෝ දේවල් කියාදීමට ඇති නමුත් ඒ සියල්ල ඔබට වැදගත් නැත. Hot rolled steel bar සහ Cold rolled steel bar යන නිෂ්පාදන ක්‍රියාවලි වැදගත් වෙයි. නමුත් ඒ දෙක අතර ඇත්තේ tensile strength එකේ සහ Elongation එකේ වෙනස්කම් දෙකකි. ඉහතකී ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති යකඩ ඔනෑම වර්ගයක් ඉදිකිරීම්වලට සුදුසුයි. යකඩ කූරු කැබැල්ලක් රැගෙන tensile strength පරීක්සාව සිදුකරලා බලාගන්න පුලුවන් කම්බිකූරේ ගහලා තියෙන ශක්තිය තියෙනවද කියලා. ඉතාම සරල පරීක්ෂණයක් ඒක. දැන් ඉතින් යකඩ තෝරාගැනීමේ ප්‍රස්නයට නිසි පිලිතුරු ඔබට ලැබෙන්න ඇතිකියා මම විස්වාස කරමි.එනිසා විසයකරුනු ගැන නිසි දැනුමක් නැතිව නිවාස ඉදිකිරීම් group හරහා ජනතාවට වැරදි උපදෙස් දෙන උපදේශකලාගෙන් ආරක්ෂාවීම ඔබ සතු වගකීමකි.
From Anura Rathnayaka