10/02/2025
වැඩි වන සූර්ය බලය හමුවේ පද්ධති පාලනයේ අනාගතය ?
සූර්ය බලශක්තියෙන් ඉහළ ප්‍රතිශතයක් ඇති රටවල් සූර්ය බලශක්තියේ කඩින් කඩ ස්වභාවය (intermittent nature) හේතුවෙන් ඔවුන්ගේ විදුලි පද්ධති කළමනාකරණය කිරීමේදී පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙමින් සිටී.
පුරෝකථනය කිරීමේ අවශ්‍යතාවය
ලංකාවේ මේවන විට සූර්ය බලාගාර 1,600 MW කට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ. එක් වරම ලංකාවම හෝ විශාල ප්‍රදේශයක් වළාකුළු වලින් වැසී ගියොත් සැලකිය යුතු විදුලි ධාරිතාවක් කෙටි කාලයක් ඇතුළත පද්ධතියට අහිමි වී යයි. එවැනි අවස්ථා වලදී දැනට ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයට කළ හැක්කේ කුමක් ද?
A. ජල විදුලි බලාගාර වල ධාරිතාව ක්ෂණිකව වැඩි කිරීම
B. තෙල් විදුලි බලාගාර වල ධාරිතාව ක්ෂණිකව වැඩි කිරීම
නමුත් ජල විදුලිය ජනනය වැඩි කිරීමට විවිධ සීමා තිබේ. ජලාශවල පවතින ධාරිතාව, බීමට ජලය සැපයීම, වාරි ජලය සැපයීම ප්‍රමුඛත්වයේ තිබීම වැනි කාරණා ය.
එය ප්‍රමාණවත් නොවන විට දී තෙල් බලාගාර ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් හදිසියේ තෙල් බලාගාර පණ ගැන්වීම කළ හැකි නොවේ. එයට පැය කිහිපයක් ගත වේ. ඒ අනුව පද්ධති පාලන අංශය අවධානම අඩු කර ගැනීමට නම් කලින්ම තෙල් බලාගාර පණ ගන්වා තබා ගත යුතු ය. එය වියදම් අධික ක්‍රියාමාර්ගයක් බව පැහැදිලි ය.
නැතිනම් දියුණු තාක්ෂණික ක්‍රමවේද මඟින් ලැබීමට නියමිත සූර්ය බලය පුරෝකථනය කළ යුතු ය. එමඟින් තෙල් බලාගාර පණගන්වනවා ද නැත් ද යන්න පෙර දිනයේ නිවැරදිව තීරණය කළ හැකි ය. ලැබීමට නියමිත සූර්ය බලය පුරෝකථනය කිරීමේ දියුණු ක්‍රමවේද ගණනාවක් ලෝකයේ පවතී (පළමු කොමෙන්ටුව බලන්න). ඉදිරියේ දී මෙවැනි සුදුසු තාක්ෂණයන් අත්පත් කර ගැනීමට අපට ද සිදුවනු ඇත.
සූර්ය බලාගාර වැඩි වැඩියෙන් පද්ධතියට එකතු වන විට මධ්‍යහ්නයේ දී පද්ධතියේ සමතුළිතතාවයට හානිකර මට්ටමට සූර්ය විදුලිය ලැබිය හැකි ය.
මෙහි දී කළ හැකි දෙයක් නම් දිවා කාලයේ විදුලිය සපයනවා වෙනුවට විදුලිය වැඩි පුර අවශ්‍ය සැන්දෑ කාලයේ විදුලිය සැපයීමට සූර්ය බලාගාර හිමියන් පෙළඹවීමයි. එය කිරීමට නම් සූර්ය බාලාගාර හිමියන් බැටරි පද්ධති සවි කළ යුතු අතර time_of_use (ToU ) tariff ක්‍රමවේදයක් හරහා සැන්දෑ කාලයේ සපයන විදුලියට ඉහළ ආකර්ෂණීය මිලක් ලබා දිය යුතු ය. දැනට ඕස්ට්‍රේලියාව, ඇ.එ. ජනපදය, ජර්මනිය වැටි රටවල එවැනි ක්‍රමයන් ක්‍රියාත්මක වෙයි. ඕස්ට්‍රේලියාව දිවාකාලයේ සූර්ය බලාගාර වලට ගෙවන මිල 2025 වසරේ සැලකිය යුතු ලෙස අඩු කිරීමට නියමිත ය.
තවත් ක්‍රමයක් නම් මධ්‍යගත විශාල බැටරි පද්ධතියට සම්බන්ධ කිරීම යි. Grid Scale Battery Storage System (BESS) යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ක්‍රමවේදයයි. ලංවිම ද 2025 වසරේ 5 MW/10 MWh පද්ධතියක් සහ 2026 වසරේ 100MW / 50 MWh ක බැටරි පද්ධතියක් එකතු කිරීමට ක්‍රියාත්මක වෙමින් තිබේ. බැටරි පද්ධති සඳහා පසුගිය වසරේ ඉන්දියාවේ SECI ආයතනය ටෙන්ඩර් කැඳවූ විට ලද මිල ගණන් අනුව (~ LKR 12.00 / kWh පමණ (Solar tender for 1200MW with BESS 600MW /1200MWh)) ඉදිරි කාලයේ බැටරි පද්ධති වල මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යනු ඇති බවට සිතිය හැකි ය.
තවත් ක්‍රමයක් නම් Pump Storage Systems ක්‍රමය මඟින් දිවා කාලයේ වැඩිපුර විදුලිය නිපදවන විට ජලය ජලාශයකට පොම්ප කර සැන්දෑ කාලයේ සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමයි. ලංවිම 2034 වසරේ දී එවැනි 600 MW ක Pump Storage System එකක් පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. සමහර විට එය ඊට පෙර ඉදිකිරීමට තත්වයන් විසින් බලකෙරෙනු ඇත. නමුත් මෙවැනි බලාගාර ඉදිකිරීමට විශාල කාලයක් අවශ්‍ය ය.
තවත් ක්‍රමයක් නම් අසල්වැසි රටවල් සමඟ විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීමයි. ඒ තුළින් දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය විදුලිය විකිණීමට හැකිවීමත් පද්ධතියේ සමතුළිතතාවය පවත්වා ගැනීමටත් හැකි වෙයි. උදාහරණය ලෙස ස්පාඥය සහ මොරොක්කෝව, ජර්මනිය සහ ඩෙන්මාකය, එක්සත් රාජධානිය සහ ඩෙන්මාකය යන රටවල් අතර ඇති සම්ප්‍රේෂණ සම්බන්ධතාවන් දැක්විය හැකි ය. ශ්‍රී ලංකාවද ඉන්දියාව සමඟ එවැනි විදුලි සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් (grid interconnection) ඇති කර ගැනීමට මූලික එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. ඒ පිළිබඳ ශඛ්‍යතා අධ්‍යනයන් ද පෙර දී සිදුකෙරිණි.
ප්‍රස්තාරයේ දැක්වෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ 2022 වසරේ දිනක පද්ධතියේ ඉල්ලුම 100 MW ක් දක්වා අඩු වී ඇති අවස්ථාවකි. සෘණ ධාරිතාවෙන් පෙන්වන්නේ වෙනත් ප්‍රාන්ත රාජ්‍යයන්ට විදුලිය අපනයනය කරන ධාරිතාවයි. විදුලිය අපනයනය කිරීම ඇතුළු ක්‍රම ගණනාවක් මඟින් මෙහිදී විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගනී.
මීට අමතරව පද්ධතියේ සීමිත වර්ග කීපයක විදුලි මූලාශ්‍ර වෙනුවට හොඳ විදුලි මූලාශ්‍ර මිශ්‍රණයක් පවත්වා ගැනීම, සම්ප්‍රේෂණ පද්ධතිය දියුණ කිරීම හා Smart Grid තාක්ෂණයන් ඇති කර ගැනීම තුළින් පද්ධති පාලනය පහසු කර ගත හැකි ය. Smart Meter මඟින් පාරිභෝගික හැසිරීම සහ සම්බන්ධ වී ඇති සූර්යබලාගාර වල තත්කාලීන දත්ත (real-time data) ලැබෙන නිසා පද්ධති පාලනය වඩාත් පහසු වෙයි.
උදාහරණයකට බටහිර ඕස්ට්‍රේලියාවේ හදිසි අවස්ථාවකදී සූර්ය බලාගාර පද්ධතියෙන් ඉවත් කිරීමට අවශ්‍ය remote switching හැකියාව ඇති කර ගැනීමෙන් පද්ධතියේ සමතුළිතතාවය තහවුරු කර තිබේ.
මේ කුමන ක්‍රියාමාර්ගය ගත්ත ද ඊට අමතර මුදල් ද අවශ්‍ය වන බව නොකිව මනා ය. ඒ නිසා සූර්ය විදුලිය මිල දී ගැනීමේ දී ගත හැකි අවම මිලට ගැනීම සඳහා තරඟකාරීව ටෙන්ඩර් ඔස්සේ මිල දී ගැනීම තුළින් ඉහත කී තාක්ෂණයන්ට මහජනයාට බරක් නොවන පරිදි අපට ද ගමන් කළ හැකි වනු ඇත.
Copied